වැලිමඩ පාසල් සිසුවෙක් අවු 15 ක් පවතින වම්බටු ශාකයක් සොයාගනී

Posted by Unknown on 10:28 AM with No comments


පාසල් සිසුන්ගෙන් ඉතා වැඩි දෙනෙක් රජයේ විභාග සමත්වීම ඒකායන අරමුණ කරගෙන වැඩ කරද්දී සමාජයක පොතපත හදාරන අතරේම ඊට අදාළ ප්‍රායෝගික කරුණු අත්හදා බලන දරුවන් අපට හමුවන්නේ කලාතුරකිනි. එවැනි විරල ගණයේ පාසල් සිසුවකු වැලිමඩ මධ්‍ය විද්‍යාලයේ දී සිළුමිණට හමුවූ බව අපි ඉතා සතුටින් මෙසේ ලියමු. එකී පාසලේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහු නමින් දිනුක ප්‍රශාන්ත දිසානායක ය. ඌව පරණගම උඩුගාවර පාරම්පරික ගොවි පවුලක උපන් දිනුක ඒ නිසාමදෝ අධ්‍යාපනයට අතිරේකව කෘෂිකර්මාන්තයට දක්වන්නේ සුවිශේෂී ඇල්මකි.

ඔහු කුඩා කාලයේ පටන් විවිධ කර්මාන්ත හා විෂයයන් පිළිබඳව පර්යේෂණ කරමින් නව සොයා ගැනීම් සඳහා වෙහෙස මහන්සි වී ඇත. එහෙත් ඒ කිසිවකින් ජයගන්නට ඔහු සමත් වූයේ නැත. ඒත් උත්සාහය, උනන්දුව, ඕනෑකම, කැපවීම ඔහු කිසිවිටෙකත් අත්හළේ නැත.





උසස් පෙළ විභාගයට සූදානම්ව සිටියදී ඔහුගේ නව අත්හදා බැලීමක් සාර්ථක විය. ඔහුගේ මේ නව සොයා ගැනීම පිළිබඳව ඔහුගේ වචන වලින්ම අසා බලමු.

මා මේ දිනවල උසස් පෙළ සඳහා පෙනී සිටිනවා. මේ ප්‍රදේශයේ කැලෑබදව විශාල වශයෙන් වැල්තිබ්බටු ගස් වැවෙනවා.

මේ ශාකයක් වසර දහයක් පමණ පවතිනවා. අපි සාමාන්‍යයෙන් වගා කරන වම්බටු ශාකයක සාමාන්‍ය ආයු කාලය (මාස 18 ක්) අවුරුදු එකහමාරයි.

මා ඒ නිසා මා අදහස් කළා මේ වැල් තිබ්බටු ශාකයකට වම්බටු අංකුරයක් බද්ධ කරලා නව වම්බටු ප්‍රභේදයක් ඇති කරන්න. එය අත්හදා බැලුවා. එය සාර්ථක වුණා. මේ නව ප්‍රභේදයේ වම්බටු ශාක රාශියක් දැන් අපේ ගෙවත්තේ තිබෙනවා.

වැල් තිබ්බටු ගසේ වම්බටු




පැළය බද්ධකරන අයුරු

මේ ශාකයක් අඩි හතක් පමණ උසට වැවෙනවා. එය විශාල භූමි ප්‍රමාණයක පැතිර තිබෙනවා. වරකට එක් ශාකයකින් කිලෝ පහක් පමණ අස්වනු නෙළනවා.

මේ අයුරින් වසර පහළොවක් පමණ හොඳින් සාත්තු කරමින් අස්වනු ලබන්න පුළුවන්. මේ නව ප්‍රභේදය ‍විශාල ලෙස අතු විහිදී පැතිර යන නිසා ගහේ මුල්වලට නිතරම සෙවණ තිබෙනවා. එනිසා ඉතාම අඩු ජල සම්පාදනයක් තමයි මේ සඳහා අවශ්‍ය වන්නේ.

තිබ්බටු ශාඛවලට තිබෙන එකම පළිබෝධකයා වන්නේ පිටි මකුණු උවදුරයි. එය තිබෙන්නේ ග්‍රීස්ම කාලයටයි. කොහොඹ ඉස්ම යොදලා එය වළක්වන්න පුළුවන්. ඒ වගේම මේ තිබ්බටු ශාකයට වනසතුන්ගෙන් එතරම් හානියක් වෙන්නෙ නෑ. ඒ නිසා මේ නව වම්බටු ප්‍රභේදය වැඩිදියුණු කරන්න මට හිතුණා.
ඒ අනුව මා මෙවර උසස් පෙළ විභාගයට ලියල ඉවරවෙලා මේ ශාක 100 ක් පළමුව කෘෂිකර්මයට ළැදි ගොවි මහත්තුරුන්ට නොමිලේ ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

මා කුඩා කාලයේ සිටම නව සොයා ගැනීම් සඳහා කීප අවස්ථාවකදීම උත්සාහයන් දරා තිබෙනවා. එයින් එකී අරමුණක් අද මට ඉටු කර ගන්න හැකිවීම ලොකු සතුටක්. මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.


වැලිමඩ මැදි මහ විදුහලේ විදුහල්පති ඩී.එම්. කරුණාසේන මහතා ද දිනුකගේ පන්ති භාර ආචාර්ය ආර්.එම්. චමින්ද රත්නායක හා විද්‍යාලයීය කෘෂිකර්ම අංශ භාර මහානාම ජයතිලක යන මහත්වරු ද එන්.එම්. ලලිතා කුමාරි මහත්මිය ද මේ සම්බන්ධයෙන් අප සමඟ පවසා සිටියේ මෙවැනි අදහසකි.

මේ වගේ සිසු දරුවකු අපේ විදුහලින් බිහිවීම ඇත්ත වශයෙන් ම විදුහලටත් ආඩම්බරයක්. ඒ වගේම අභිමානයක්. සිසු දරු දැරියන් විශාල පිරිසක් ඉගෙනුම ලබන පාසලක මෙවැනි එක් දරුවකු හෝ සිටීම පිළිබඳව අප සතුටු වනවා.


ඉදිරියේදීත් මේ වගේ නව සොයා ගැනීම් සඳහා සිසු පරපුර යොමු කළ හැක්කේ මේ සිසුවාගේ නව සොයා ගැනීම පිළිබඳව නිසි අගැයීමක් කර ඔහුගේ මෙම ක්‍රියාව රටට හෙළිකිරීම තුළින් බවයි.