වැලිමඩ මැදි විදුහල් මාතාවගේ අතීතයෙන් බිඳක්............!

බ/ වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය ආචාර්ය C.W.W. කන්නන්ගර ශ්‍රිමතානන්ගේ මධ්‍ය විද්‍යාල සංකල්පය අනුව බිහි වූවකි. 2013 වර්ෂයට මෙම මධ්‍ය විද්‍යාලයට වසර 68ක අතීතයක් ඇත.( ආරම්භය 1945/07/01)


විදුහලේ ආරම්භය ඊට එහා අතීතය දක්වා දිව යයි. විසිඑක් වන සියවසේ පළමු භාගයේ කර්නල් ඇලෙක්ස් දිවිතොටවෙල මහතා විසින් පරිත්‍යාග කරන ලද ඉඩමක මෙම ලබුතොට පාසල කුඩාකටු මැටි ගැසූ පොල් අතු සෙවිලි කල 4x 20 යාබද කාමරයක් සහිත ගොඩනැගිල්ලක ආරම්භ වී ඇත. යාබද කාමරය විදුහල්පති නිළ නිවස විය. විවිධ අලුත්වැඩියාවන්ට යොමුව අද ද දක්නට තිබේ. එම කාමරය, වත්මන් විජය විද්‍යාලය පිහිටි ස්ථානයේ ඇත. එදා පාසල ස්වදේශිකයන්ගේ ස්වභාෂාව ඉගැන්වීම ස‍ඳහා ආරම්භ කල පාසලකි. පසුව දැනට පිහිටි ස්ථානයට ගෙන ඇති අතර,පළමු මධ්‍ය විද්‍යාල 54 අතරට මෙම විදුහලද ඇතුලත්වීම ඌවේ භාග්‍යයක් කොට සැලකිය යුතුය. 1945 පසුව, ඉංශ්‍රීසි මාධ‍්‍යයෙන්  ඉගැන්වීම ආරම්භ කළ අතර, දිවයිනේ ශිෂ්‍යත්වධාරීන් පමණක් බඳවා ගන්නා ද්වීතීයික පාසලක් බවට පත්විය. පසුව, දෙමළ මාධ්‍ය ද ආරම්භ වීම සිදු වුවත්, 1960න් පසුව නැවත සිංහල මාධ්‍යට මාරුවීම නිසා දෙමළ භාෂාව ඉගෙන ගත් දරුවන්ට වෙනත් පාසලක්  සොයා යන්නට සිදුවිය.




1947 ගොඩනැගිලි සඳහා සැළසුම් සැකසුනු අතර නව ගොඩනැගිලි ලෙස වත්මන් ප්‍රතිභා මන්දිරය, බාලක බාලිකා නේවාසිකාගාරයන් දෙක ගුරු නිවාස හා ජල සැපයුම් ආදී ඉදිකිරීම ආරම්භ විය. 1953 දි එම ගොඩනැගිලි අධ්‍යාපන අමාත්‍ය M.D.බණ්ඩා මහතා විසින් විවෘත කර ඇත. පළමු වරට සාමාන්‍ය පෙළ විභාගයට 1951 දී ඉදිරිපත් කළ අතර උසස් පෙළ නොවූයෙන් ඒ අවුරුද්දේ දරුවන්ට නුගවෙල මධ්‍ය විද්‍යාලයට යන්නට සිදුවිය.1953 දී උසස් පෙළ විභාගයට ප්‍රථම වතාවට ළමුන් ඉදිරිපත් කළ අතර එම අවුරුද්දේ ඌව පළාතෙන් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ පළමු ශිෂ්‍යයා වීමේ භාග්‍ය උදා වූයේ මෙරට දක්ෂ සිවිල් සේවකයකු වූද, දඹදෙනි මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට ගොස් පේෂකර්ම අමාත්‍යධූරයද පසුව යාපනයේ දිසා ඇමති පදවියද දැරූ අද ද අප අතර ජීවත්ව සිටින යූ.බී විජේකෝන් මැතිඳුන්ය.

එදා මෙදා තුර විශ්ව විද්‍යාල ආචාර්යවරු, සාහිත්‍යඥයන්, කලාකරුවන්, දේශපාලනඥයන් හා විවිධ විද්වතුන් සුවහසක් බිහිකළ වැලිමඩ විදුහල් මාතාව අද්විතීය ස්ථානයක වැජඹෙන්නිය. එදා ඌවේ  “මිණිපහන” නම් විරුදාවලිය ලත් මෙම පාසල අද ද ඌවේ වැදගත් ස්ථානයක රැඳී තිබෙන විද්‍යාලයකි. සිසුන් 2500කට වැඩි ඇදුරුමඩුල්ල 120ට ආසන්න සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යවලින් 6-13 දක්වා ඉගෙනුම කරන, වසරින් වසර සාමාන්‍ය පෙළ ප්‍රතිඵළ ඉහළ යමින් 500 කට වැඩිපිරිසක් අ.පො.ස (උ.පෙළ) සඳහා ඉදිරිපත් කර 85 ක් පමණ දැනට විශ්ව විද්‍යාල ගතකළ හැකි පාසලකි. වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය අතීතයේ ශ්‍රී විභූතිය සමරමින් දරුවන්ගේ යහගුණ නැවත වගා කරමින් විනය ගරුක පාසලක් ලෙස දැනට ඉදිරියට ගමන් අරඹා තිබීම අප කාගෙත් පැසසුමට හේතුවකි.


අපගේ දැක්ම “ඌවේ අභිමානයෙන් විශිෂ්ඨත්වය කරා යන ගමනකි”  “අප සැම විට සැම තැන විශිෂ්ඨයෝ වෙමු”.යන්න අපගේ දැක්මයි. උසස් පෙළ විද්‍යා, කලා, වාණිජ අංශ, කෘෂි/ මෘදුතාක්ෂණ, පරිගණක අංශයන්, නිර්මාණකරණය, මෝටර්කාර්මික හා උපදේශන අංශය, වෘත්තීය මාර්ගෝපදේශනය, ඉංගීසි අංශය, සෞන්දර්යය අංශය, ජනමාධ්‍ය කවය, ක්‍රීඩා පාසල, නව නිපැයුම්, ශිෂ්‍යභට ඛාණ්ඩය හා කුසලතාවන්ගෙන් පිරි සිසුන්ගෙන් සමන්විත, ශිෂ්‍ය නායක මණ්ඩලයන් වැනි සුවිශේෂි වූ විෂය බාහිර විෂය සමගාමී අංශ රැසකින් යුත් මෙම පාසල අතු ඉති ආදී ශාඛා රැසක් එක් කරගෙන ඉදිරියට ගලන උමා නදී ගංගාවමැයි සිතේ.




වැලිමඩ මැදි මහ විදුහලේ දීප්තිමත් විදුහල්පතිවරු

නම                                                                      කාලය
1.  එස්. පලීපාන මැතිතුමා                                   1945-1948
2.  ජේ..එස්. කුරුප්පු මැතිතුමා                          1950-1952
3.  . ආසිරිවාදන් මැතිතුමා                                1952-1954
4ක්ව්න්ටන් කරුණාරත්න මැතිතුමා                  1955-1956
5.  ඩෙන්සිල් ඒ ද සිල්වා මැතිතුමා                       1963-1964
6.  අශෝක ගෞතමදාස මැතිතුමා                        1964-1967
7.  ..නවරත්න මැතිතුමා                                 1972-1973
8.  ආර්.එම්.පී. රාජපක්ෂ මැතිතුමා                        1975-1975
9.  පී. සිංහආරච්චි මැතිතුමා                                 1975-1977
10.  පී.ඩබ්. නෙල්සන් පෙරේරා මැතිතුමා              1979-1984
11.  ගුණදාස එදිරිසිංහ මැතිතුමා                           1984-1988
12. ගිරාඹේ ඉන්ද්‍රසුමන හිමි (වැ.)                       1988-1989
13. මුදියන්සේ රත්නායක මැතිතුමා                      1989-1991      
14ටී.බී. තෙන්නකෝන් මැතිතුමා                      1992-1993      
15.  ඩී.ලෝසිරි නන්ද ද සිල්වා මැතිතුමා               1997-2001
16. එන්.එම්. තිලකසිරි මැතිතුමා(වැ.)                2005-2008
17.  ඩී.එම්. කරුණාසේන මැතිතුමා                            2008-වර්තමානය දක්වා